ත්‍රාටක /දැල්වෙන පහන් හෝ ඉටිපන්දම් සිළුවක් හා කෙරෙන භාවනාව.


දෑස වසාගෙන කෙරෙන බොහෝ භාවනා ක්‍රම ඇතත් දෑස් විවර කර කෙරෙන භාවනා විරලය .ඒ අනුව මා වැඩිපුරම දන්නා දෑස් විවර කර සිදු කරන භාවනාවන් දෙකකි .එනම් සක්මන් භාවනාව සහ ත්‍රාටක භාවනා ක්‍රමයයි .මේ ලිපියෙන් මා ඔබට කියා දෙනුයේ මේ දෙවැන්නයි.එනම් යෝග ශාස්ත්‍රය තුළ ත්‍රාටක නමින් හැඳින්වෙන දැල්වෙන කුඩා සිළුවක් කෙරෙහි හිත යොමන භාවනාවයි .මෙම භාවනා ක්‍රමය බෞද්ධ භික්ෂූන් විසින්ද භාවිතා කරන අතර මා අසා ඇති පරිදි උත්පලවන්නා තෙරණිය විසින් මෙය භාවිතා කොට ඇත .


මුලින්ම අප මෙම භාවනා ක්‍රමයෙන් අපට ලැබෙන වාසි මොනවාදැයි දැන ගනිමු .

1.මෙමගින් ඇස වටා පවතින මාංශ පේශීන් ශක්තිමත් වේ .

2.එමෙන්ම පෙනීම දියුණු කරයි .

3.මතක ශක්තිය වැඩි දියුණු කිරීමට හේතු වේ .

4.තවද කුඩා දරුවන්ගේ ඇඳ තෙමීමේ ක්‍රියාවලිය අඩු කිරීමට පිටුවහලක් වේ .

5.ධාරණ ශක්තිය සහ අවධානය වැඩි දියුණු කරයි .

6.මෙලටෝනින් ශ්‍රාවය වැඩි කිරීමට හේතු වන බැවින් සුවදායික නින්දකට පිටුවහලක් වේ.


අනෙක් භාවනා තුලින්ද අවධානය ,මතක ශක්තිය සහ ධාරණය වැනි දේ වැඩි කරන බව අප දන්නා අතර ත්‍රාටක භාවනා ක්‍රමය සුවිශේෂී වනුයේ එමගින් අපගේ දෙඇස් වල දියුණුවට ලබා දෙන ප්‍රතිලාබ නිසාය .එසේම කුඩා දරුවන් බොහෝ විට දෙඇස් වසා භාවනා කිරීම නිසියාකාරව සිදු කිරීමට තරම් විටෙක පරිණත නොවන නිසා මෙම ක්‍රමය වඩාත් ඔවුන් සඳහා යෝග්‍ය වේ.

මෙහිදී පහන් හෝ ඉටි පන්දම් සිළුවක් අත්‍යවශ්‍යම නොවේ .අපගේ අරමුණ ලෙස බිත්තියක අඳින ලද තිතක් වැනි දෙයක් හෝ වෙනයම් ඉලක්කයක් ද යොදා ගත හැක .ආරක්ෂාව සලකා බලද්දී කුඩා දරුවන් සඳහා දැවෙන යමකට වඩා තිතක් වැනි දෙයක් වඩාත් යෝග්‍යය .නමුත් වැඩුණු අය හට කුඩා ගිණි සිළුවක් වඩාත් යෝග්‍ය වනු ඇත .ඒ කෙසේද යත් එය තුළ විටින් විට වෙනස් වන ආලෝකය සහ වර්ණ වෙනස ආදිය නිරීක්ෂණය සිත එක් තැන් කිරීමට මහගු පිටුවහලක් වන අරමුණක් බැවිනි .


දැන් අපි මෙම භාවනා ක්‍රමය සිදු කරන අයුරු ගැන ඉගෙන ගනිමු.

  • ප්‍රථමයෙන් ඔබ තමන්ට අවශ්‍ය වන පහන් සිළුව හෝ ඉටිපන්දම දල්වා එය මීටරයක් පමණ දුරින් තමා අසුන් ගත් පසු පවතින ඇස මට්ටමේ තබන්න .
  • එමෙන්ම තරමක් අඳුරු වෙනත් එළියක් /විදුලි බල්බයක් නොදැල්වෙන ස්ථානයක් තෝරා ගන්න .
  • දැන් එය ඉදිරියෙන් පහසු අයුරකින් අසුන් ගන්න .
  • ඉන්පසු හොදින් ආශ්වාස ප්‍රශ්වසයන් 2-3ක් ගෙන සන්සුන් වන්න .
  • දැන් දැල්වෙන සිළුව කෙරෙහි තම දෑස යොමන්න .
  • මෙහිදී ප්‍රථමයෙන්ම සිළුවේ කළු සහ නිල් පැහැති මද්‍යනය කෙරෙහි දෙඇස් යොමා අවධානය යොමු කරන්න .
  • ඉන්පසු ක්‍රමයෙන් එහි වර්ණයන් වෙනස් වන සිළුවේ අනෙක් කොටස් සහ සුළඟ සමග පහන් සිළුව ලෙල දෙන අන්දම නිරීක්ෂණය කරන්න .
  • මෙලෙස මිනිත්තු 5-15ත් අතර කාලයක් ඔබට භාවනාව කළ හැක .



අවවාදයයි -මෙම භාවනා ක්‍රමය සිශෝෆ්රිනියාව සහ උමතු මානසික රෝග වලින් පෙලෙන්නන් හට යෝග්‍ය නොවේ .එබැවින් ඔබ එවැනි රෝගයකට ප්‍රතිකාර ලබන්නේ නම් මෙම භාවනාව සිදු නොකර සිටින්න.


මේ අනුව ඔබ දැන් දෙඇස් විවර කර සිදු කළ හැකි භාවනාවක් ඉගෙන ගත් අතර එය ඔබට එදිනෙදා ජීවිතයේ අවශ්‍ය විටෙක යොදා ගෙන මනස සන්සුන් කර ගත හැක .තවද මෙම ක්‍රමය භාවිතා කර ලැබෙන ප්‍රතිපල සහ ඔබගේ අත්දැකීම් මා හා කොමෙන්ටුවක් මගින් බෙදා ගනු ඇතැයි මම විශ්වාස කරමි .


ප්‍රථම චායාරූපය  

https://unsplash.com/photos/XE3hUkmc2AE?utm_source=unsplash&utm_medium=referral&utm_content=creditShareLink

Comments